AI යුගයේදී මානවීය සබඳතා සහ සහෝදරත්වය යළි ගොඩනගන්නැයි කාදිනල් ටග්ලේ හිමිපාණෝ ආසියානු සභාවෙන් ඉල්ලති

AI යුගයේදී මානවීය සබඳතා සහ සහෝදරත්වය යළි ගොඩනගන්නැයි කාදිනල් ටග්ලේ හිමිපාණෝ ආසියානු සභාවෙන් ඉල්ලති

 

තාක්ෂණය වේගයෙන් වෙනස් වුවද මිනිසාගේ මූලික අවශ්‍යතා, අපේක්ෂා සහ අධ්‍යාත්මික ආශාවන් නොවෙනස්ව පවතින බව අවධාරණය කරමින්, ඩිජිටල් මෙහෙවර අව්‍යාජ සහයෝගීතාවයෙන් හා මානවීය සහෝදරත්වයෙන් පෝෂණය කළ යුතු බව කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ටැග්ලේ හිමිපාණෝ පවසති.

ආසියානු රදගුරු සමුළු සම්මේලනයේ සමාජ සන්නිවේදන කාර්යාලයේ (FABC-OSC) වාර්ෂික හමුවට සමගාමීව සහ මකාවෝ රදගුරු පදවියේ 450 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති විශේෂ දේශනයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ඔක්තෝබර් 31 වැනිදා මකාවෝ හි අප ස්වාමිදූගේ උපත සිදුවූ ආසන දෙව්මැදුරේදී පැවැති මෙම දේශනයේ තේමාව වූයේ “Magnifica Humanitas: Synodal Ways for Evangelization in Asia” යන්නයි. එනම්, ආසියාවේ සුබාරංචි ප්‍රචාරය සඳහා මානවීය ගරුත්වය සහ සහයෝගී ගමන්මඟ යන්නයි.

ශුද්ධාසනයේ සුබාරංචි ප්‍රචාරය පිළිබඳ ශුද්ධාසන ධර්මදූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී (Pro-Prefect) කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ටැග්ලේ හිමිපාණෝ එහිදී සහයෝගී සභා ගමන්මඟ (Synodality) පිළිබඳව ද පැහැදිලි කරමින්, එය එකම මඟක එකට ගමන් කිරීමේ ක්‍රියාවලියක් බව පෙන්වා දුන්හ.
සහයෝගී සභා ගමන්මඟ යනු ජීවමාන එකමුතුවකි
සහයෝගී සභා ගමන්මඟ ප්‍රධාන අංග තුනක් මත පදනම් වන බව උන්වහන්සේ අවධාරණය කළහ. එනම්, එකමුතුකම (Communion), සහභාගීත්වය (Participation) සහ මෙහෙවර (Mission) යන අංග තුනයි.

දෙවන වතිකාන කතිකා මාලාවේ Lumen Gentium සහ Gaudium et Spes ලේඛන උපුටා දක්වමින් උන්වහන්සේ සිහිපත් කළේ, සමස්ත මානව සංහතියේ එකමුතුකම සඳහා ලකුණක් මෙන්ම උපකරණයක් වීමට සභාව කැඳවනු ලැබ ඇති බවයි.

සැබෑ කිතුනු එකමුතුකම ප්‍රකාශ වන්නේ කිතුනුවන්ට පමණක් නොව, ආගමික පසුබිම කුමක් වුවත් සියලු මිනිසුන්ගේ ප්‍රීතිය, දුක සහ කනස්සල්ල සමඟ අව්‍යාජ සහයෝගීතාවයෙන් බැඳී සිටින විට බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එමෙන්ම සභාව තුළ පවතින බලය සහ අධිකාරිය කිසිවිටෙකත් පුද්ගලික හෝ කණ්ඩායම් අභිලාෂයන් වෙනුවෙන් නොව, පොදු යහපත උදෙසා පමණක් භාවිත කළ යුතු බව ද අවධාරණය කළහ. ඒ සඳහා විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩ ඇගයීමේ සංස්කෘතියක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
බාබෙල් කුලුන, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සිදුවන මුළාකිරීම්
කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයේ වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් කාදිනල් ටැග්ලේ හිමිපාණෝ අනතුරු ඇඟවූයේ, මිනිසුන් අතර පවතින සබඳතා මත ගොඩනැඟෙන සන්නිවේදනය වෙනුවට තාක්ෂණික කෙටි මාර්ග ආදේශ නොකළ යුතු බවයි.

බයිබලයේ සඳහන් බාබෙල් කුලුන පිළිබඳ කතාව උදාහරණයට ගනිමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, අහංකාරය, ස්වයංපෝෂිතභාවය සහ බලහත්කාරී ඒකාකාරීත්වය මත ගොඩනැඟෙන ව්‍යාපෘති අවසානයේ සන්නිවේදනය බිඳවැටීමටත් බෙදීම් ඇතිවීමටත් හේතු වන බවයි.

සන්නිවේදනය හුදෙක් උපායමාර්ග සහ තාක්ෂණික මෙවලම්වලට පමණක් සීමා වූ විට, එය අව්‍යාජ මානවීය සංවාදයකින් බැහැර වී මිනිසුන් හසුරුවන මෙවලමක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

විශේෂයෙන්ම ඩීප්ෆේක් (Deepfake) තාක්ෂණය, අන්තර්ජාල වංචා සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව අවධානය යොමු කළ උන්වහන්සේ, අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මුළාකිරීමටත් අසත්‍ය තොරතුරු ඔස්සේ ලාභ උපයා ගැනීමටත් අන්තර්ජාල වේදිකා යොදාගැනීම පිළිබඳ සිය කනස්සල්ල පළ කළහ.
මානව ගරුත්වය සහ පෞද්ගලික සාක්ෂිය යළි අගය කිරීම
විද්‍යාත්මක ප්‍රගතියට සහ මාධ්‍ය තාක්ෂණයේ දියුණුවට සභාව සහාය දක්වන නමුත්, ඩිජිටල් වේදිකා හමුවේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති මිනිසාගේ පූජනීය ගරුත්වය සහ විස්මයට පත්වීමේ හැකියාව කිසිවිටෙකත් යටපත් නොවිය යුතු බව කාදිනල් ටැග්ලේ හිමිපාණෝ අවධාරණය කළහ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වයට පත්වීමේ අභිරහස සහ ශුද්ධ වූ ජොහන් අපෝස්තුළුවරයාගේ පළමු ලිපිය ඇසුරින් අදහස් දැක්වූ උන්වහන්සේ, කිතුනු සාක්ෂිය පදනම් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති කරගන්නා සජීවී පෞද්ගලික හමුවීමක් මත බව සිහිපත් කළහ.

එමෙන්ම තමන් දුටු, ඇසූ සහ ස්පර්ශ කළ දේ පිළිබඳ සාක්ෂි දැරීම කිතුනු සන්නිවේදනයේ මූලික පදනම බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අවසානයේදී ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සුබාරංචිය ප්‍රචාරය කරන සියලු දෙනාට ආරාධනා කරමින් කාදිනල් ටැග්ලේ හිමිපාණෝ, තමන් දිනපතා නිර්මාණය කරමින් සහ බෙදාහරිමින් සිටින මාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳව නැවත විමසා බැලිය යුතු බව පැවසූහ.

නවීන තාක්ෂණික මෙවලම් යොදාගනිමින් සැබෑ විශ්වාසය ගොඩනැඟීමටත්, එකමුතුකම වර්ධනය කිරීමටත්, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිළිබිඹු කිරීමටත් කටයුතු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ. ඒ වෙනුවට අන්තර්ජාල අවකාශය ඝෝෂාවෙන්, ඕපාදූපවලින් සහ බෙදීම්වලින් පිරවීමට දායක නොවිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.

#RadioVeritasAsia #RVASinhala #CardinalTagle #FABC #DigitalEvangelization #Synodality #ArtificialIntelligence #ChurchInAsia #CatholicCommunication #MagnificaHumanitas

Sinhala survey popup image